phoca thumb l 503A3126   Copyපර්යේෂණ ආයතන සතු විද්‍යාත්මක දැනුම ගමට ගෙන ගොස් ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ මැටි, පිත්තල, වේවැල්, ලී ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ පිළිබඳව දෙපාර්ශ්වය අතර අවබෝධය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාවක් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සහ ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දින නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සාම්ප්‍රදායික දේශීය කර්මාන්තකරුවන් සඳහා නූතන තරඟකාරී වෙළඳපොළ ඉල්ලුමට ගැළපෙන ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම ඒකාබද්ධ වැඩසටහනේ අරමුණ බවත්, ග්‍රාමීය කර්මාන්තකරුවන් යොදාගන්නා සම්ප්‍රදායික අමුද්‍රව්‍ය වලට විද්‍යාත්මක පර්යේෂණ හරහා අගය එකතු කිරීම, ඒ  තුළින් නව නිර්මාණ බිහි කිරීම, නූතන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර නිර්මාණය ආදිය වැඩසටහනේ දී සිදු කෙරෙන බවත් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කෙරිණි.

ප්‍රමුඛතාව ලබාදිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකි ව්‍යාපෘති කිහිපයක් මෙහි මූලික අදියරේ දී ක්‍රියාත්මක  කෙරේ. ඒ අනුව වේවැල්, මැටි, කෙඳි වර්ග සහ දැව ආශ්‍රිත නිෂ්පාදන  සඳහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිතය. සම්ප්‍රදායික කර්මාන්තකරුවාට ගැලපෙන, ඔවුන්ට දරාගත හැකි ආකාරයට තාක්ෂණික ක්‍රමවේද සමීප කරවීම, විවිධ පරිමාණයන්ගෙන්  කර්මාන්ත ගොඩනැංවීම, අපතේ යාමකින් තොරව අමුද්‍රව්‍ය කාර්යක්ෂමව යොදාගැනීම ඇදිය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ කාර්මික තාක්ෂණ ආයතනය ද, අමාත්‍යාංශය මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සමග එක්ව ක්‍රියාත්මක කරන දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ද,  ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව, ලක්සල සහ  ජාතික මෝස්තර මධ්‍යස්ථානය මෙම වැඩසටහන සඳහා එක්වීමට නියමිතය.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, එන්.එච්.එම්.චිත්‍රානන්ද, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, එම්.ඒ.බි.වී. බණ්ඩාරනායක, යන මහත්වරුන් අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.

තවත් ඡායාරූප බැලීමට මෙතන ක්ලික් කරන්න >>