02ප්‍රථම ඉන්දු - ලංකා ඒකාබද්ධ පර්යේෂණ සම්මන්ත්‍රණය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී 2017.05.29 දින ආරම්භ විය.

ප්‍රථම වරට පවත්වනු ලැබූ ඉන්දු - ලංකා ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලාංකීය සහ ඉන්දියානු පර්යේෂකයන් හට සිය පර්යේෂණ සොයාගැනීම් ප්‍රසිද්ධ කිරීම සහ බෙදා හැරීම සඳහා අවස්ථාව ලබා දීම සම්මන්ත්‍රණයේ අරමුණ විය. සම්මන්ත්‍රණය දෙදිනක් පුරා පැවැත්විණි.

2011 සැප්තැම්බර් මාසයේදී එවකට පැවති ශ්‍රී ලංකාවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව අතර විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා වු සහයෝගීතා වැඩසටහනක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් තබන ලදී. සහයෝගීතා ගිවිසුම යටතේ ඒකාබද්ධ වැඩමුළු 02ක් සහ ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘතින් 9ක් සඳහා දෙරට ඒකාබද්ධව ප්‍රතිපාදන ලබා දීම සිදු කළ අතර මේ වන විට එම පර්යේෂණ ව්‍යාපෘතීන් සම්පූර්ණ කර තිබේ. ඒ හරහා ගොඩනැඟුණු නව දැනුම සහ සොයාගැනීම් පිළිබඳව සම්මන්ත්‍රණයේදී විශේෂ අවධානය යොමු විය.

ඉදිරියේදී වඩා ඉහළ සහයෝගීතාවයක් සඳහා පසුබිම නිර්මාණය කර ගැනීමේ අරමුණ ඇතිව ඒකාබද්ධ වැඩසටහනේ විවිධ අවස්ථාවන් සහ අභියෝගයන් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ හරහා දැනටමත් ආරම්භ වී ඇති ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහනේ දෙවන අදියර, වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අවස්ථාවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්.විජයලච්චුමී මහත්මිය, ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ සහ ඉන්දීය විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්,විද්‍යාඥයින්, සහයෝගීතා පර්යේෂකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.