dsc 5572තිරසාර ජාතික සංවර්ධනයක් සඳහා විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදනයන් භාවිතයට ගැනීම යන තේමාවෙන් ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රය සහ යටිතල සංවර්ධන වැඩසටහන් සඳහා උසස් තාක්ෂණයන් හඳුන්වාදීමේ අරමුණින්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සමාජ මෙහෙවර උදෙසා විද්‍යා හා තාක්ෂණ ශ්‍රී ලංකා සම්මන්ත්‍රණය -2016 ගරු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

එම සම්මන්ත්‍රණයේ, තාක්ෂණ සැසිවල සමාරම්භය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2016.09.07 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී සිදුවිය. මෙම සම්මන්ත්‍රණය එක්සත් රාජධානිය - ඉන්දියා අධ්‍යාපන හා පර්යේෂණ මූලාරම්භය (UKIERI), ජපාන - ශ්‍රී ලංකා නවෝත්පාදන වේදිකාව (J-SLIP) සමඟ සහයෝගීතාවෙන් සංවිධානය කෙරේ. මෙහි තාක්ෂණ සැසිය සඳහා JAICA, WIPO, GTZ සහ THOMSON REUTERS යන විදේශීය ආයතන වෙතින් සහාය ලබාදේ.

සාමූහික සැසි 4ක්, කණ්ඩායම් සැසි 21ක් සහ විද්‍යාඥයින් සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර සාකච්ඡාවන් 3කින් මෙම සම්මන්ත්‍රණ‍ය සමන්විත වේ. ශ්‍රී ලංකාවේ මෙවැනි සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා මූලික වූ ජපානයේ STS සම්මන්ත්‍රණ සභාපතීත්වය දරණ ජපාන රජයේ හිටපු මුදල් අමාත්‍ය සහ හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයෙකු වන කෝජි ඔමි මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය සිදු කරන ලදි. මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ විද්‍යා උපදේශක තනතුර සහ BIO-ECONOMY CORPORATION MALAYSIA හි සභාපති ධූරය හොබවන මහාචාර්ය ටෑන් ශ්‍රී සක්රි අබ්දුල් හමීඩ් මහතා විසින් මෙහිදී ආරාධිත දේශනයක් ක‍ළේය. සැප්තැම්බර් 10 දින දක්වා සම්මන්ත්‍රණ‍ය පැවැත්වේ.