03විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම සකස් කිරීමේ සමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2017.06.23 සහ 24 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

වර්තමානයේදී අප රටට ජාතික ගැටළුවක් බවට පත්ව ඇති ඝන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීමේ ගැටළුවට දේශීය විසඳුමක් සොයා ගැනීමේ අරමුණ ඇතිව සංවිධාන කළ මෙම සමුළුවට අදාල විෂය ක්ෂේත්‍රයේ නිපුණතාවක් ඇති ඒ පිළිබඳව උනන්දුවක් දක්වන රාජ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය නොවන සංවිධානවලට අයත් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්, පර්යේෂකයින් 250 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

දින දෙකක් පුරා පැවති සමුළුවේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම් කෙටුම්පත් කිරීමට අවශ්‍ය කරුණු ගැඹුරින් සාකච්ඡා කර අවසන් එකඟතාවන්ට පැමිණි අතර එහිදී දැනට එක්රැස්වී ඇති අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙන්ම මින් ඉදිරියට පරිසරයට එකතුකරන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණාත්මකව අඩුකිරීමට ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානය යොමුවිය.

සමුළුවේදී ඇතිකරගත් එකඟතා මත කෙටුම්පත් කෙරෙන දළ ජාතික ක්‍රියාකාරී සැලස්මේ කරුණු පිළිබඳව අදාල පාර්ශවකරුවන්ගෙන් වැඩිදුර අදහස් ලබාගැනීමෙන් අනතුරුව සකස්කරන අවසන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම ඉදිරියේදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාට බාරදීමට නියමිත අතර අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩල අනුමැතියට යොමුකිරීමට නියමිතය.