ජාතික විද්‍යා සතිය නොවැම්බර් 10 -16 ...

01 min“National Innovation Mission - හීන වලට පණ දෙන වර්තමානය” තේමා කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින (10 දින) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මෙම සැමරුම් උත්සවයේ දී, ප්‍රධාන අංගය ලෙස ජාතික නවෝත්පාදන මෙහෙයුම දියත් කිරීම සිදු වූ අතර,  සහසක් නිමැවුම් - 2020 නව නිපැයුම් තරගාවලියේ විශිෂ්ඨයින්ට දසිස් සම්මාන පිරිනැමීම සහ නර්ඩ් ආයතනයෙන් නිර්මාණය කළ කාලීනව වැදගත් සාර්ථක නව නිර්මාණයක්  නව ඔක්සිජන් සාන්ද්‍රකය එළි දැක්වීමද මෙහි දී සිදු කෙරිණි. ඒ සමගම ජාතික විද්‍යා දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික විද්‍යා සතියේ  සමාරම්භය ද සනිටුහන්  වූ අතර එය  නොවැම්බර් 10 -16 දක්වා පැවැත්වේ.

"සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව තාක්ෂණය පදනම් කරගත් සමාජයක්” තුළින් ශ්‍රී ලංකාව නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ඉලක්කය ජය ගැනීමට දායක වීමේ පියවරක් ලෙස National Innovation Mission - ජාතික නවෝත්පාදන ජාතික නවෝත්පාදන මෙහෙයුම (NIM) දියත් කරන ලද අතර, එය විද්‍යාව හා තාක්ෂණවේද නව්‍යකරණය, පාරිසරික නව්‍යකරණය, සමාජ නව්‍යකරණය, සේවා නව්‍යකරණය සහ ආරක්ෂක නව්‍යකරණය යන ප්‍රධාන තේමා පහ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. මෙය නව නිපැයුම්කරුවන් සඳහාම ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහනකි. එම මෙහෙයුම යටතේ සිදු කෙරෙන පාසල් සිසුන් සඳහා නවෝත්පාදන විද්‍යාගාර ජාලයක් සථාපිත කිරීම සංකේතවත් කරමින් පළාත් මට්ටමින් තෝරාගත් පාසල් නවයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සහ උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපතිතුමන් අතින් ජාතික විද්‍යා දිනයේ දී සිදුකෙරිණි.

ජාතික විද්‍යා දිනය සහ ඊට සමගාමීව ජාතික විද්‍යා සතිය සැමරීමේ අරමුණු වන්නේ,

  • තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට හැකි දැනුවත් සමාජයක් නිර්මාණය කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යභාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
  • සමාජ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ භාවිතාවන් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම.
  • දිළිඳු බව තුරන් කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ලබා දීම.
  • විද්‍යා හා තාක්‍ෂණ ක්ෂේත්‍රයේ මැදිහත්වීම් සහ ජාතික සංවර්ධනය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම  යනාදියයි.

ජාතික විද්‍යා සතිය තුළ අමාත්‍යාශය සහ එය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධ ආයතන වල මෙහෙයවීමෙන් විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන  ක්ෂේත්‍රයේ ප්‍රගමනය ඉලක්ක කර ගත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.  සතිය තුළ එක් දිනක් එක් සුවිශේෂී ප්‍රධාන තේමාවක් වෙනුවෙන් වෙන් කරගනිමින් ජාතික විද්‍යා සතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව නොවැම්බර් 10 - 16 සතිය පිළිවෙලින් ජාතික විද්‍යා දිනය, නවෝත්පාදන දිනය, අභාවකාශ තාක්ෂණ දිනය, පේටන්ට් දිනය, බලශක්ති දිනය, නව නිපැයුම් ප්‍රවර්ධන දිනය, විද්‍යාව ප්‍රචලිත කිරීමේ දිනය ලෙස නම් කර තිබීම විශේෂත්වයකි. එම දින වලදී, තේමාවට අදාල ප්‍රධාන වැඩසටහනක් සහ සමගාමී වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, දීපා ලියනගේ යන මහත්ම මහත්මීන්, විදේශීය තානාපතිවරුන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

View more photos >>