උපාධි තත්ත්වය පිරිනැමීම  දක්වා වැඩි දියුණු කිරීම ඇතුළුව SLIATE ආයතනයේ  අනෙකුත් කටයුතු වලදී ගතානුගතිකව නොසිතන ලෙසත් නූතන ක්‍රමවේදයකට අනුගත ව අවබෝධයෙන් ඉදිරියට යාමට එක්වන ලෙසත් තාක්ෂණ හා නවෝත්පාදන ගරු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා  SLIATE සිසුන්ගෙන් ඉල්ලීමක් කළේය.  දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය සඳහා එම ආයතනයට ගිය අවස්ථාවේදී ශිෂ්‍ය සංගම් නියෝජියන් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය.

“මෙම ආයතනය උපාධි තත්ත්වය පිරිනැමීම දක්වා දියුණු කිරීමේ දී,  මුලින්ම SLIATE පනත සංශෝධනය කළ යුතුයි. විශ්වවිද්‍යාල වරම් නොලබන ඉහල ප්‍රතිඵල සහිත දරුවන්ට ඉදිරි මාවතක් විවර කර දීමයි මෙම ආයතනයේ අරමුණ.  ආයතනයේ ගුණාත්මක බව ඉහල දමන අපේ වැඩපිළිවෙළේ දී අපි අධ්‍යාපනය පෞද්ගලිකකරණය සඳහා ක්‍රියාකරන බවට සිසුන් තුළ චකිතයක් ඇති වෙලා තිබෙනවා. කිසිසේත්ම එවැනි දෙයක් සිදුවන්නේ නැහැ.  ඉදිරියේ සිදුකරන සෑම දෙයක් ගැනම විනිවිදව ඔබව දැනුවත් කරනවා. උපාධියක් පිරිනැමීම දක්වා ආයතනය දියුණු කරන විට ආයතනය ලෝකයට විවෘත කළ යුතුයි. ලෝකයේ රැකියා ඉල්ලුමට සරිලන දැනුම ලබාදෙන ආයතනයක් නිර්මාණය කිරීමයි අපිට අවශ්‍ය. ඒ සඳහා ජාත්‍යන්තරව හුවමාරු වන දැනුම ඉතා වැදගත්. ලබාදෙන උපාධියේ අගය තීරණය වන්නේ ඒ අනුව. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේම පර්යේෂණ පදනම් තාක්ෂණ විශ්වවිද්‍යාල දක්වා දියුණු කිරීමේ අදහස අපි තුළ තියෙනවා. මෙම ආයතන පද්ධතිය දියුණු කිරීමේදී අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රතිලාභද, භෞතික සම්පත් ද  වැඩිවිය යුතුයි. එනිසා සියලු බර රජයටම පැවරීමෙන් තොරව, ආයතනය මගින් යම් මුදලක් ඉපයීම පිළිබඳත් කල්පනා කළ යුතුයි. අධ්‍යාපනය හදාරන සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි ඒ සදහා ඉදිරි සංවර්ධන සැලසුමක් අපි ක්‍රියාත්මක කරනවා.”

SLIATE අධ්‍යාපන ආයතන පද්ධතිය තුළ ඉගෙනුම ලබන බහුතරය ධනවත් පවුල්වලට අයත් නොවන බැවින් සිසුන්ගේ නිදහස් අධ්‍යාපන සුරක්ෂිතතාව තහවුරු කෙරෙන ආකාරයට ආයතනය වැඩිදියුණු කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියහ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, SLIATE උසස් නිලධාරීන් සහ  ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂිකා එස්.එස්. සමරක්කොඩි මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

503A2984 Re503A2988 Re503A2996 Re503A3017 Re