කැබිනට් අනුමැතිය මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ දැව කර්මාන්තයට වටිනාකමක් එක් කිරීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද දැව සැලසුම් කිරීමේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් (TDIC) සහ දැව සැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) පිහිටුවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ එක්ව තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට (COSTI) මෙම දැව නවෝත්පාදන මධ්‍යස්ථාන දෙක පිහිටුවීමේ කාර්යය පැවරී ඇත.

මෙම නවෝත්පාදන මධ්‍යස්ථාන දෙක මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඉහළ මට්ටමේ ගෝලීය අපනයන වෙළඳපොළට දැව පදනම් කරගත් නවෝත්පාදන සැලසුම් හඳුන්වා දීමට ඉදිරියේ දී ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම මධ්‍යස්ථානවල සාර්ථක ක්‍රියාකාරිත්වය තුළින්, මොරටුව ප්‍රදේශය දැව නිෂ්පාදන සැලසුම් වල විශිෂ්ට කලාපයක් ලෙස ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ කුඩා දැව නිෂ්පාදකයින් ඉහළ මට්ටමකට ගෙන ඒම සහ ප්‍රතිනිර්මාණය කිරීම, පුහුණුව තුළින් ධාරිතාව ඉහළ නැංවීම, දැනුම සහ තාක්‍ෂණය පවරාදීම,  දැව කර්මාන්තයේ රැකියා උත්පාදනය, ශ්‍රී ලංකාවේ දැව සැලසුම් සඳහා හඳුනාගත් අද්විතීය වෙළඳ නාමයක් නිර්මාණය කිරීම සහ බුද්ධිමය දේපළ යටතේ එය ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන සඳහා ඉහළ මට්ටමේ අපනයන වෙළඳපොළ අවස්ථා වැඩි දියුණු කිරීම, දැව හා දැවවල දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය ඉහළ නැංවීමෙ, නිෂ්පාදන සහ ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් නවෝත්පාද්‍ය දැව අපනයන වැඩි කිරීම වැනි ප්‍රතිඵල අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කරමින් මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන COSTI අතර ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති සාපේක්ෂ ක්‍රියාකාරකම් TPIC සහ TDIC යටතේ සිදු කිරීම සඳහා අදාළ විශ්ව විද්‍යාල වෙත අරමුදල් ලබා දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය TPIC යටතේ දැව සැකසුම් නවෝත්පාදනයන් පිළිබඳ පර්යේෂණ 4 ක් සිදු කරමින් සිටින අතර සියලු මට්ටමේ දැව කර්මාන්තකරුවන් සඳහා වෙබ් අඩවියක් ආරම්භකිරීමට කටයුතු යොදා ඇත. 

මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නිවර්තන දැව සංවිධානයේ (ITTO) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

Timber 1Timber 2