පසුගිය අප්‍රේල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයකදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා නව පුපුරන ද්‍රව්‍ය යොදාගෙන ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.

මෙවැනි නව පුපුරණ ද්‍රව්‍යය සොයාගැනීම සහ හඳුනාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයක් නිර්මාණය කරමින් රටේ ඉදිරි ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ඉදිරිපත්ව සිටී. මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික සහයෝගය ද ලබාගැනීමට නියමිතය. ඒ පිළිබඳව වූ මූලික සාකච්ඡාව මීට ඉහත දී පැවති අතර එහි ඉදිරි පියවර සමිබන්ධයෙන් වූ දෙවන සාකච්ඡාව පසුගිය 23 දින විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

20190531 news002මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන්, ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රොබට් හිල්ටන් මහතා, ශ්‍රී ලංකා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිළධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.